Sunday, February 17, 2019

බලශක්ති අවශ්‍යතාවයට ස්ථිර විසඳුම

අපේ රට ස්වභාවික බලශක්ති ප්‍රභවයන් පමණක් භාවිතාකර බලශක්තියෙන් ස්වංපෝෂිත විය හැකි බව මගේ හැඟීමය.  අපේ ඇති ජලාශ ශක්තිය ගබඩාකරන කෝෂ වශයෙන් පාවිච්චි කල හැකියි.  දැනට පවතින ජලාශ වලට අමතරව විභව ශක්ති ගබඩාව කිරීම සඳහා තවත් ජලාශ කීපයක් ඉදි කළ හැකි ප්‍රදේශ ගණනාවක් අපේ රටේ තියෙනවා. අඩු වැඩි වන විචල ස්වභාවික බලශක්ති උපරිම ලෙස ලබාගෙන අපේ ජලාශවල විභව ශක්තිය වශයෙන් එම ශක්තිය තාවකාලිකව ගබඩා කළ හැකියි.  අප සතුව පවතින ස්වභාවික බලශක්ති ප්‍රභව නම්,

1. ජල විදුලිය
2. සුළං බලය ( නුදුරු අනාගතයේදී සුළං බලය ප්‍රධාන වශයෙන්ම සරුංගල් ආශ්‍රයෙන් ලබා ගනු ඇත)
3. මුහුදු රළ භාවිතා කර ලබා ගන්නා බලය
4. සූර්ය විදුලි පනෙල භාවිතා කිරීමෙන් ලබා ගන්නා බලය

 රටේ බලශක්ති අවශ්‍යතාවය සැපිරීමට යෝජනාව, 

බලශක්ති උත්පාදනයේ අනාගතය සරුංගල් (සුළං) ආශ්‍රයෙන් ලබාගන්නා බලය සහ සූර්ය බලශක්තියයි. ජාතික විදුලිබල පද්ධතියේ බැටරි (energy storage) ලෙස භාවිතා කල හැකි ජලාශ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුය. පවත්නා ජලාශ හා ජල විදුලි බලාගාර හැරුණු විට අපට කුඩා ප්‍රමාණයේ ගබඩා ධාරිතාවක් සහිත (සතියක බලශක්ති උත්පාදනය සඳහා) නමුත් විශාල ජනන ධාරිතාවක් සහිත විදුලි බලාගාර ඇති කළ යුතුය.

මෙමඟින් අප සැලසුම් කරන්නේ අතිරික්ත සූර්ය/ සුළං බලශක්තියක් ඇති විට අපට එම ජලාශවලට ජලය පොම්ප කර  උපරිම අවශ්‍යතාවය (Peak demand) ඇති රාත්‍රී කාලයේදී ජල විදුලිය පාවිච්චි කිරීමයි.
Pump Storage Systems

උදා: දවල් කාලයේදී ජලය උඩට පොම්ප කර රන්ටැඹේ -> රන්දෙනිගල -> වික්ටෝරියා රාත්‍රියේදී අපට වැඩි ජල විදුලියක් භාවිතා කළ හැකිය.

සෑම නිවසකම කුඩා සූර්ය පද්ධතියක් ඇති කිරීම ඉතා මිල අධික, තාක්ෂණිකව සීමිත (only 15%-20% of transformer capacity can be provided by roof top solar generators) හා නඩත්තු කිරීමට අපහසු වේ.  ඉතා වැදගත් කරුණක් නම් ලංකා විදුලිබල මණ්ඩලය අඩු ඒකක ගණනක් පාවිච්චි කරන ගෘහස්ථ ඒකක සඳහා ලබාදී ඇති සහනදායි මිල ගණනට  වඩා  විදුලිය නිෂ්පාදන වියදම  ඉතා අධිකය  යන කරුණයි.  විදුලිබල මණ්ඩලය දැනට ආදායමක් ලබන්නේ ඒකක 180ට වඩා පාවිච්චි කරන පාරිභෝගිකයන්ගෙන්.  මෙම ඒකක 180ට වඩා පාවිච්චි කරන පාරිභෝගිකයන් සියලුම දෙනා තමන්ගේ වහලය මත  සූර්යවිදුලි පද්ධතියක් ස්ථාපනය කළ හොත් ලංකා විදුලිබල මණ්ඩලය පවත්වාගත නොහැකි ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත් වනු ඇත.

ඒ වෙනුවට CEB වසර 20+ ක ආයෝජක සැලැස්මක් සඳහා ගෘහස්ථ බලශක්ති සහතික නිකුත් කළ යුතුය. මේ සියලු ආයෝජනයන්ගේ  එකතුවෙන් අපගේ මහාමාර්ග, ඇළ මාර්ග ඔස්සේ දිවෙන හෝ මුහුදේ (හෝ ජලාශ)  මත පාවෙන වඩා විශාල සූර්ය බලාගාර පිහිටුවිය යුතුය.

නිදසුන: මසකට ඒකක 300 ක් පරිභෝජනය කරන ගෘහ ඒකකයක් (මාසික බිල්පත රුපියල් 9,000) රු. ලක්ෂ 6 ක් ආයෝජනය කර එම නිවසට වසර 20 ක් සඳහා  මසකට ඒකක 300 දක්වා නොමිලේ ලබා ගැනීම.

විශාල සූර්ය, සුළං හෝ  සරුංගල් බලාගාර මගින් බලශක්ති ඒකක 300 ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන ආයෝජනය  රුපියල් ලක්ෂ 3  පමණ වේ. අනාගත සරුංගල් සුළං බලාගාරයන් වඩාත්ම පිරිවැය ඵලදායී වන අතර අපට ආශිර්වාදයක් සේ ලැබී ඇති මෝසම් සුළං සමඟ  ස්ථාවරව බලශක්තිය නිපදවනු ඇත.

බලශක්තිය රටක ඉතා වැදගත් කර්මාන්තයක් වන නිසා ආයෝජනයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් රජය  ප්‍රතිපත්තිමය වශයෙන්  හැකිතරම් දේශීය නිෂ්පාදන භාවිතා කළ යුතුය. ඒ සඳහා,
1. සූර්යකෝෂ නිෂ්පාදන කම්හලක් රාජ්‍ය අනුග්‍රහයෙන් ඇතිකළ යුතුය
2. සරුංගල් ආශ්‍රයෙන් විදුලිය නිෂ්පාදනය කරන මෙවලම් නිපදවීමට දේශීය ආයෝජකයන් දිරිගැන්විය යුතු ය
3. මුහුදු රළ ආශ්‍රයෙන් විදුලි නිෂ්පාදනය කරන මෙවලම් නිපදවීමට දේශීය ආයෝජකයන් දිරිගැන්විය විය යුතුය

No comments: