Tuesday, October 08, 2019

ජාතික ජනතා ව්‍යාපාරය

ජාතික ජනතා ව්‍යාපාරය ගැන මෙම සටහන මා තබන්නේ විවිධ පුද්ගලයන් නිතර නිතරම එය ගැන අසන විවිධාකාරයේ  ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටයි.

ජාතික ජනතා ව්‍යාපාරයේ ආරම්භය හා විකාශය.
ජාතික ජනතා ව්‍යාපාරය දේශපාලන  පක්ෂයක්  නොවෙයි.  නමුත් එය විසින් රටට බොහෝ කාලයක් අවශ්‍යව තිබූ අලුත් දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට දේශපාලන ව්‍යාපාරයක් මෙහෙයවනු ලබයි.

2014 වසරේ දී ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය ලෙස ආරම්භ වූ ව්‍යාපාරයක් පසුව එක්සත් වෘත්තීයවේදීන්ගේ  ව්‍යාපාරය ලෙස ස්වාධීනව එවකට රජයේ අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් ගැන අධ්‍යයනය කිරීමත් සංශෝධන කිරීමත් නිර්දේශ කිරීමත් සම්බන්ධව දායක වුණා.

නමුත් ඒ කාරණා වලදී එවකට රජය එක්සත් වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ නිර්දේශයන් නොසලකා ගිවිසුම් වලට එළඹීමෙන් පසුව ඔවුන් තීරණය කරනවා මාතෘභූමියේ නිවැරදි තීරණ ගැනීමට නම් දේශපාලන බලය ලබාගත යුතු බව. එතැන් පටන් මාතෘභූමිය නිවැරදි තැනට ගෙන යෑමේ දේශපාලන අරමුණකින් යුතුව සංවිධානය වන එක්සත් වෘත්තීයවේදීන්ගේ  ව්‍යාපාරය 2018 දී ජාතික ජනතා ව්‍යාපාරය බවට පත් වන්නේ දේශෝදය ඇතුළු තවත් සිවිල් සංවිධාන ගණනාවක එකතුවක් ලෙසයි. එක්සත් වෘත්තීයවේදීන්ගේ සංගමය ජාතික ජනතා ව්‍යාපාරය බවට පත් වන්නේ දේශපාලන ව්‍යාපාරයක්  සාර්ථක කරගැනීමට රටේ සෑම තරාතිරකම පුද්ගලයන් එක්කර ගත යුතු නිසයි.

ජාතික ජනතා ව්‍යාපාරය වෙනස්
ජාතික ජනතා ව්‍යාපාරය ලංකාවෙි පැවති සාම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාරවලට වඩා වෙනස්. වෙනස්වන ආකාර,

  1. සියල්ලන්ගේම අදහස් වලට ගරු කරයි. 
  2. සියල්ලටම පෙර රට පෙරටුකරගත්  ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. 
  3. ජාතිවාදය ආගම්වාදය කුලවාදය  කතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
  4. සංවිධානයේ ප්‍රතිපත්ති රාමුව නිරන්තරයෙන් ශක්තිමත් වෙමින් පවතී.
  5.  නිරන්තරයෙන් අලුත් සැබෑ නායකයන් සොයමින්  හඳුනාගනිමින් පවතී.
  6. හඳුනාගත් සැබෑ නායකයන්ට හැකි ඉක්මනින් සුදුසු තැන ලබා දෙයි.
  7. පුද්ගලික න්‍යායපත්‍ර සහිතව සංවිධානයට ඇතුළු වන්නන් හඳුනා ගෙන  ඈත් කරනු ලබයි. 
  8. තර්ක  විතර්ක කිරීමට විවෘත අවකාශයක් ලබාදෙයි
  9.  සංවිධාන නායකයන් දේශපාලන නායකයන් නොවෙයි
  10. කිසිදු විදේශ සම්භවයක් ඇති රාජ්‍ය නොවන සංවිධානයක් සමග මූල්‍ය ගනුදෙනු සිදු කරනු  නොලබයි.
  11. ප්‍රතිපත්තියක් ලෙස  පවතින කිසිදු දේශපාලන පක්ෂයක් සමග සම්බන්ධ වීම නොකරයි.
  12. සංවිධානයේ සාමාජිකයන්ගේ  හා සුභ පතන්නන්ගේ මූල්‍යාධාර  මත පමණක් යැපෙයි.
  13.  මූල්‍යාධාර වලට සීමාවක් පනවා ඇති අතර එවැනි මූල්‍යාධාර සඳහා කිසිදු පොරොන්දුවක් දෙනු  නොලැබේ. 

 

Thursday, February 21, 2019

දේශපාලන වෛරය

වෛරය කිසිසේත් අනුමත නොකරන සියයට හැත්තෑවක් බෞද්ධයන්ද වෙසෙන මේ රටේ මිනිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් එකිනෙකාට දේශපාලනික වෛර කරයි. ඔවුන් පිරිසෙන් සුළු පිරිසක් වුවද ඔවුන්ගේ බලපෑම සමාජයට රටට සැලකිය යුතු බලපෑමක් කරමින් පවතී.

දේශපාලනික වෛර ප්‍රභේද සහ වෛරීය ජනකොටස් (ඉතාම සුළු පිරිසක්)
1. ඩයස්පෝරාව
   a. 1983 ජාතිවාදී කෝලාහලයෙන් බැට කෑ අය
   b. JVPයට සම්බන්දව සිට දේශපාලන රැකවරණ ලැබූවන්
   c. යුද්ධය පැවති කාලයේ ආරක්ෂාව පතා අකමැත්තෙන් වුව බුද්ධි ගලනයට ලක්වූවන්
2. පාරම්පරිකව දෙමාපියන් විසින් දේශපාලන බුද්ධි ශෝධනයට භාජනය වූවන්
3. ආගමික අන්තගාමීන්
4. වර්ගවාදීන්
5. පුද්ගලික දේශපාලන එදිරිවාදිකම් ඇත්තන් (බොහෝ විට අතීත දේශපාලන සිද්ධියක් මුල් කර ගනිමින්)

වෛරයේ පටන්ගැන්ම
1. දේශපාලකයන් විසින් ජනතාව බෙදා වෙන්කර ඔවුන් අතර ඇතිකරන වෛරය (උදාහරණයක් ලෙස 1983 ජාතිවාදී කලබලය නිර්මාණය)
2. වැරදි ඉතිහාස ඉගැන්වීම්
3. සුද්දා විසින් ඇති කළ පක්ෂ දේශපාලනය
4. දෙමාපියන් දරුවන්ට දේශපාලන වෛරය කාවැද්දීම
5. රටේ සිදුවිය යුතු දෙය අමතක කර සමාජවාදය, ධනවාදය වැනි දේශපාලන සංකල්ප වල තරයේ එල්බ සිටීම.

දේශපාලන වෛරයේ ප්‍රතිලාභීන්
1. පටු පුද්ගලික අරමුණු ඇති දේශපාලකයන්
2. පටු අරමුණු ඇති වර්ගවාදී හා ආගමික අන්තවාදීන්
3. ආක්‍රමණික විවිධ විදේශ බලවේග
4. නව යටත් විජිත වාදයෙන් යැපෙන පිරිස්

වෛරය අත්හල යුත්තේ ඇයි?
මෙම වෛරය සියලුම දෙනාම අත්හැරියහොත් සාමූහිකව බුද්ධිමත්ව රටට ඇතිවන ප්‍රතිලාභ අතිවිශාලයි.
1. නියම ජාතික සමගිය ඇතිවනු ඇත.
2. පටු අරමුණු ඇති අශිෂ්ට දේශපාලනඥයන්ගේ කාලය අවසන් වනු ඇත.
3. ජාති/දේශ හිතෛෂී බුද්ධිමතුන් දේශපාලනයට යොමු වනු ඇත.
4. දේශපාලනයේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනු ඇත.
5. විදේශගත ඩයස්පෝරාවෙන් ආයෝජන සහ දැනුම අප රට වෙත ගලා එනු ඇත
6. විදේශිකයන්ට අපේ රටේ සම්පත් සූරා කත නොහැකි වනු ඇත.

සමාවන්න මට

සමාවන්න

හැකියාවක් නැත මට

පිහිට වන්නට,

සිය ගණන් වූ වකුගඩු රෝගීන්ට
සිය ගණන් වූ අක්මා රෝගීන්ට
සිය ගණන් වූ අබලන් පාසල් හැදීමට
සිය ගණන් වූ අබලන් රෝහල් හැදීමට
දහස් ගණන් වූ තුන්වේල නොකන මිනිසුන්ට
දහස් ගණන් වූ හිසට වහලක් නැති මිනිසුන්ට
දහස් ගණන් වූ පොත්පත් නැති ළමයින්ට
දහස් ගණන් වූ රැකියාවක් නැති ඔබට

ඒ නිසා මම

හොදම විකල්පය වූ

එක් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ හතර හමාර බැගින් ණය භරිත කළ 70 වසරක දූෂිත දේශපාලනය අවසන් කිරීමට කැප වූවෙමි.

Monday, February 18, 2019

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික විද්වත් සංවිධානය

ජනතා විමුක්ති පෙරමුණ යනු අප රටේ ජනතාව අවස්ථා කීපයකදීම බලාපොරොත්තුව තබා එම බලාපොරොත්තු සුන් කළ දේශපාලන පක්ෂයකි. එබැවින් තව දුරටත් තවත් වරක් බලාපොරොත්තු තබන්නට ජනතාව බිය වී සිටි. ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාකාරකම් තුළින් ජනතාවට පෙන්වා දී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ රටේ තරුණ නැගීසිටීම් අවභාවිතා කොට එවන් නැගී සිටීම නන්නත්තාර කිරීමේ පක්ෂයක් ලෙසය. 

තවත් වරක් කා දමන්නට කාලයක් අපට ඉතිරිව නැත.

ජනතා විමුක්ති පෙරමුණ රට ගැන සිතන්නේ නම් ඔවුන් විද්වතුන් මත විශ්වාසය තබන්නේද නම් ඔවුන්ගේ වරද නිවරද කිරීමට,

1. ජාතික විද්වත් සංවිධානය මත විශ්වාසය තබා වර්ථමාන දේශපාලන නායකත්වය ඉවත් විය යුතුයි.
2. ජනතා විමුක්ති පෙරමුණේ මීළඟ නායකත්වය ජාතික විද්වත් සංවිධානය තුළින් බිහි වීමට ඉඩ හැරිය යුතුය.
3. ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය තම දේශපාලන මොඩලයෙන් ප්‍රසිද්ධියේ ඉවත් කළ යුතුය. අවුරුදු 30 හෝ 50 වැනි කාලයකින් සමාජ විෂමතාවය අවම කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළාට වරදක් නැත
4. ජනතා විමුක්ති පෙරමුණේ 1971 සිට සිදුවූ වැරදි සහ සිදුවීම් පිළිබඳව ප්‍රසිද්ධ ස්වයං විවේචන වැඩමුළුවක් සියලුම මාධ්‍යයන් භාවිත කර කළ යුතුය.
5. අවසාන වශයෙන් කීර්තිය ලැබේද නොලැබේද නොසලකා රට ගොඩගැනීමට පෙළගැසෙන ප්‍රගතිශීලී සංවිධාන සමග සමාන්තරව (ප්‍රමුඛත්වයෙන් නොව) සිට ගැනීමට සැරැසීය යුතුය.

විඩියෝ පදනම් වූ දඩ ක්‍රමය

දියුණු රටවල යම් යම් සරල නීති උල්ලංඝනය කිරීම් වලට දඩ නියම කිරීමේදී තාක්ෂණය පාවිච්චි වෙයි.  තාක්ෂණයේ දියුණුවත් සමග තාක්ෂණය භාවිතා කර නීති උල්ලංඝනය කිරීම ඉතා වැඩි වීම බලාපොරොත්තු විය යුතු දෙයකි.  මෙම තත්ත්වය පාලනය කළ හැක්කේ ද තාක්ෂණය භාවිතා කිරීමෙන් පමණයි. හොඳම උදාහරණය වන්නේ සිංගප්පූරුව. සිංගප්පූරුව තුල ක්‍රියාත්මක වන අධි තාක්ෂණික මෙවලම් වලින් ඕනෑම පුද්ගලයකු සිටින්නේ කොහේද කරන්නේ කුමක්ද යන්න අවශ්‍ය විටෙක සොයාගැනීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි.   රටේ සෑම තැනකම සවිකර තිබෙන CCTV කැමරා පද්ධතියෙන් වැරදි කරන්නවුන් සොයා ගැනීමටත් අවශ්‍ය වුවහොත් දඩ නියම කිරීමටත් හැකියි. නමුත් මෙම තත්ත්වය හොඳාකාරවම දන්නා ස්වදේශිකයන් හා විදේශිකයන් වැරදි කිරීමෙන් වැළකී සිටී.

අප රට තුලද CCTV කැමරා පද්ධති ආශ්‍රයෙන් වැරදිකරුවන් හඳුනාගැනීමට හා දඩ නියම කිරීමට ක්‍රමවේදයක් සකස් කළොත් එය වැරදි කරන්නවුන්ගෙන් 90% හඳුනාගෙන දඩ නියම කිරීමටත් එමගින් දීර්ඝකාලීනව ජනතාවගේ ස්වයං විනයක් ඇති කිරීමටත් ඉවහල් වනු ඇත.   මෙමඟින් දඩ නියම කළ හැකි කාරණා වන්නේ,
  1. මාර්ග නීති උල්ලංඝණය
  2. ප්‍රසිද්ධ ස්ථානවල කෙරෙන හිංසනය,  හොරකම් සහ අපයෝජනයන් 
  3. පරිසරය දූෂණය කිරීම කැලිකසල තැන් තැන් වල දැමීම
  4. ජාතිවාදී, කුලවාදී හා ආගම්වාදී කෝලාහල
  5. ප්‍රසිද්ධ ස්ථානවල  කෙරෙන විවිධ ජාවාරම් සහ කප්පම් ගැනීම්

මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීමෙන් අධිකරණ පද්ධතියට ඇති රාජකාරි ප්‍රමාණය අඩුකර ඊට වඩා වැදගත් නඩු සඳහා වැඩිපුර කාලය වැය කිරීමට අවකාශයක්ද  ලැබෙනු ඇත.
මේ සඳහා කළ යුත්තේ,
  1. CCTV සහ උපාංග වලට ඇති ආනයන බද්ද සහමුලින්ම ඉවත්කර දැමීම.
  2. video උපයෝගීකරගෙන දඩ නියම කිරීමට අවශ්‍ය නීතිරීති සකස්  කිරීම.
  3. මහජනතාවට එවන් videos පහසුවෙන් එවීමට ක්‍රමවේදයක් සකස් කිරීම (විශේෂයෙන්ම android සහ iOS  මෘදුකාංග)
  4. පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි වීඩියෝ අධ්‍යනය කර වැරදිකරුවන් නිගමනය කිරීමට අවශ්‍ය  දෘඩකාංග, මෘදුකාංග සැපයීම සහ පුහුණුව ලත් නිලධාරීන් පිරිසක් පත්කිරීම
  5. වැරදිකරුවන් හට දඩමුදල තැපැල් මාර්ගයෙන් දැනුම් දීම
  6. වැරදිකරුවන් තමා නිවැරදි  යැයි ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා අභියාචනා කිරීමට ක්‍රමයක් සකස් කිරීම.  වැරදිකරු ලෙස පිළිගන්නේ නම් දඩ මුදල අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ක්‍රමයකින් ගෙවාදැමීමට හැකියි

Sunday, February 17, 2019

A permanent solution to the energy needs

I feel that our country can be self-sufficient in energy using only natural sources of energy. Our high altitude blessed reservoirs  can be used as energy storage cells. In our country, in addition to existing reservoirs there are a number of areas where new reservoirs can be constructed to support the potential energy storage. We can temporarily store variable natural energy in our reservoirs. The natural sources of energy that we have are,

1. Hydro power
2. Wind power (in the near future, wind power will mainly be obtained from kites)
3. The power obtained by sea waves
4. The power obtained by using solar electricity

The future of power generation is wind power and solar power. Sri Lanka owns a large number of reservoirs that can be used as energy storage in the national grid. Apart from existing reservoirs and hydroelectric power stations, we can build new reservoirs with small storage capacity (per week for power generation), but large generation capacity.

We can pump up water when we have excess wind and solar energy. Then we can use hydroelectric power at night when there is peak demand for electricity.
Pump Storage Systems

Eg: Water is pumped up during the day from Rantembe  -> Randenigala -> Victoria.

Creating a small solar system in every home is very expensive, technically limited (only 15% -20% of the transformer capacity can be supplied by rooftop solar generators). The cost of electricity is far more expensive than the concessionary price quoted by the Ceylon Electricity Board for households using less than 90 units per month . The Ceylon Electricity Board now get an income from customers who consuming more than 180 units per month. If all customers who use over 180 units will have their own solar system and pay no bill, the Ceylon Electricity Board will go bankrupt.

Instead CEB should issue Household Energy Certificates for a 20+ year investor plan. And then all these investments should go to set up larger solar power plants that spans over the highways, canals or floating over sea (or reservoirs).

Example: A household unit consuming 300 units per month (a monthly bill of Rs. 9000/=) invests six lakhs investment plan and gets free energy of 300 units for 20 years.

On the other hand around Rs. 300,000 investment is sufficient to generate 300 units by a massive solar, wind or kite power station. Moreover future kite wind power plants are the most cost effective and will produce stable energy with the our blessed monsoon winds.

To make the best use of the investment from the energy industry the government should take necessary steps to,

1. Solar panels needs to be manufactured by the state sponsored local factories
2. Domestic investors should be encouraged to generate electricity from kites
3. Domestic investors should be encouraged to generate electricity from sea waves

බලශක්ති අවශ්‍යතාවයට ස්ථිර විසඳුම

අපේ රට ස්වභාවික බලශක්ති ප්‍රභවයන් පමණක් භාවිතාකර බලශක්තියෙන් ස්වංපෝෂිත විය හැකි බව මගේ හැඟීමය.  අපේ ඇති ජලාශ ශක්තිය ගබඩාකරන කෝෂ වශයෙන් පාවිච්චි කල හැකියි.  දැනට පවතින ජලාශ වලට අමතරව විභව ශක්ති ගබඩාව කිරීම සඳහා තවත් ජලාශ කීපයක් ඉදි කළ හැකි ප්‍රදේශ ගණනාවක් අපේ රටේ තියෙනවා. අඩු වැඩි වන විචල ස්වභාවික බලශක්ති උපරිම ලෙස ලබාගෙන අපේ ජලාශවල විභව ශක්තිය වශයෙන් එම ශක්තිය තාවකාලිකව ගබඩා කළ හැකියි.  අප සතුව පවතින ස්වභාවික බලශක්ති ප්‍රභව නම්,

1. ජල විදුලිය
2. සුළං බලය ( නුදුරු අනාගතයේදී සුළං බලය ප්‍රධාන වශයෙන්ම සරුංගල් ආශ්‍රයෙන් ලබා ගනු ඇත)
3. මුහුදු රළ භාවිතා කර ලබා ගන්නා බලය
4. සූර්ය විදුලි පනෙල භාවිතා කිරීමෙන් ලබා ගන්නා බලය

 රටේ බලශක්ති අවශ්‍යතාවය සැපිරීමට යෝජනාව, 

බලශක්ති උත්පාදනයේ අනාගතය සරුංගල් (සුළං) ආශ්‍රයෙන් ලබාගන්නා බලය සහ සූර්ය බලශක්තියයි. ජාතික විදුලිබල පද්ධතියේ බැටරි (energy storage) ලෙස භාවිතා කල හැකි ජලාශ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුය. පවත්නා ජලාශ හා ජල විදුලි බලාගාර හැරුණු විට අපට කුඩා ප්‍රමාණයේ ගබඩා ධාරිතාවක් සහිත (සතියක බලශක්ති උත්පාදනය සඳහා) නමුත් විශාල ජනන ධාරිතාවක් සහිත විදුලි බලාගාර ඇති කළ යුතුය.

මෙමඟින් අප සැලසුම් කරන්නේ අතිරික්ත සූර්ය/ සුළං බලශක්තියක් ඇති විට අපට එම ජලාශවලට ජලය පොම්ප කර  උපරිම අවශ්‍යතාවය (Peak demand) ඇති රාත්‍රී කාලයේදී ජල විදුලිය පාවිච්චි කිරීමයි.
Pump Storage Systems

උදා: දවල් කාලයේදී ජලය උඩට පොම්ප කර රන්ටැඹේ -> රන්දෙනිගල -> වික්ටෝරියා රාත්‍රියේදී අපට වැඩි ජල විදුලියක් භාවිතා කළ හැකිය.

සෑම නිවසකම කුඩා සූර්ය පද්ධතියක් ඇති කිරීම ඉතා මිල අධික, තාක්ෂණිකව සීමිත (only 15%-20% of transformer capacity can be provided by roof top solar generators) හා නඩත්තු කිරීමට අපහසු වේ.  ඉතා වැදගත් කරුණක් නම් ලංකා විදුලිබල මණ්ඩලය අඩු ඒකක ගණනක් පාවිච්චි කරන ගෘහස්ථ ඒකක සඳහා ලබාදී ඇති සහනදායි මිල ගණනට  වඩා  විදුලිය නිෂ්පාදන වියදම  ඉතා අධිකය  යන කරුණයි.  විදුලිබල මණ්ඩලය දැනට ආදායමක් ලබන්නේ ඒකක 180ට වඩා පාවිච්චි කරන පාරිභෝගිකයන්ගෙන්.  මෙම ඒකක 180ට වඩා පාවිච්චි කරන පාරිභෝගිකයන් සියලුම දෙනා තමන්ගේ වහලය මත  සූර්යවිදුලි පද්ධතියක් ස්ථාපනය කළ හොත් ලංකා විදුලිබල මණ්ඩලය පවත්වාගත නොහැකි ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත් වනු ඇත.

ඒ වෙනුවට CEB වසර 20+ ක ආයෝජක සැලැස්මක් සඳහා ගෘහස්ථ බලශක්ති සහතික නිකුත් කළ යුතුය. මේ සියලු ආයෝජනයන්ගේ  එකතුවෙන් අපගේ මහාමාර්ග, ඇළ මාර්ග ඔස්සේ දිවෙන හෝ මුහුදේ (හෝ ජලාශ)  මත පාවෙන වඩා විශාල සූර්ය බලාගාර පිහිටුවිය යුතුය.

නිදසුන: මසකට ඒකක 300 ක් පරිභෝජනය කරන ගෘහ ඒකකයක් (මාසික බිල්පත රුපියල් 9,000) රු. ලක්ෂ 6 ක් ආයෝජනය කර එම නිවසට වසර 20 ක් සඳහා  මසකට ඒකක 300 දක්වා නොමිලේ ලබා ගැනීම.

විශාල සූර්ය, සුළං හෝ  සරුංගල් බලාගාර මගින් බලශක්ති ඒකක 300 ක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන ආයෝජනය  රුපියල් ලක්ෂ 3  පමණ වේ. අනාගත සරුංගල් සුළං බලාගාරයන් වඩාත්ම පිරිවැය ඵලදායී වන අතර අපට ආශිර්වාදයක් සේ ලැබී ඇති මෝසම් සුළං සමඟ  ස්ථාවරව බලශක්තිය නිපදවනු ඇත.

බලශක්තිය රටක ඉතා වැදගත් කර්මාන්තයක් වන නිසා ආයෝජනයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් රජය  ප්‍රතිපත්තිමය වශයෙන්  හැකිතරම් දේශීය නිෂ්පාදන භාවිතා කළ යුතුය. ඒ සඳහා,
1. සූර්යකෝෂ නිෂ්පාදන කම්හලක් රාජ්‍ය අනුග්‍රහයෙන් ඇතිකළ යුතුය
2. සරුංගල් ආශ්‍රයෙන් විදුලිය නිෂ්පාදනය කරන මෙවලම් නිපදවීමට දේශීය ආයෝජකයන් දිරිගැන්විය යුතු ය
3. මුහුදු රළ ආශ්‍රයෙන් විදුලි නිෂ්පාදනය කරන මෙවලම් නිපදවීමට දේශීය ආයෝජකයන් දිරිගැන්විය විය යුතුය

රාජ්‍ය ආදායම වැඩි කරන්නේ කෙසේද

වැඩිවෙන යටිතල පහසුකම් සංවර්ධන අවශ්‍යතා හා වෙනත් රාජ්‍ය වියදම් හමුවේ වර්තමාන රාජ්‍යය  ආදායම ප්‍රමාණවත් නොවේ. රාජ්‍ය ආදායම වැඩිකර  ගන්නා ක්‍රම සෙවීම අත්‍යාවශ්‍යය. විශේෂයෙන්ම අප රට තුළ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය පහසුකම් ලබාදීමට  රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ දැමිය යුතුය. රජයේ ආදායම් වැඩි කර ගැනීමට උපයෝගී කරගත හැකි ක්‍රම.

1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 100% පරිගණකගත කිරීම
2. රටේ සෑම පුරවැසියකුටම ආදායම් ලිපි ගොමුවක්  තිබීම අනිවාර්ය කිරීම
3. වරාය හා රේගුව 100% පරිගණකගත කිරීම
4. රජයේ නිශ්චල දේපල කුලියට දීමෙන් ලැබෙන අදායම වැඩිකරගැනීම
5. රටේ ස්වභාවික බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙන බලශක්තිය විකිණීමෙන් ලැබෙන ආදායම
6. පුද්ගලික වාහන වල ආදායම් බලපත්‍රය සඳහා ගාස්තුව වාහනයේ තක්සේරු වටිනාකමේ ප්‍රතිශතයක් කිරීම
7. සෑම පුද්ගලික නිශ්චල දේපළකින්ම බද්දක් අය කිරීම
8. වෙනත් 

රටට ගැලපෙන රාජ්‍ය නිෂ්පාදන හා ව්‍යාපාර

සෑම රටක්ම තම රටේ ඇති සම්පත් හා අවශ්‍යතාවය අනුව විශේෂිත වූ කර්මාන්ත තෝරාගෙන ඒවා ප්‍රවර්ධනය කළ යුතුය.  මෙමගින් රටේ සම්පත් උපරිම වශයෙන් දේශීය ව්‍යාපාරිකයන්ට උපයෝජනය කර ගැනීමට අවස්ථාවක් ලබාදෙන අතර රටේ ආර්ථිකය විදේශිකයින් යටතට පත්වීම පාලනය කරනු ඇත.   ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු  ව්‍යාපාර වන්නේ,

1. බහුදින ධීවර යාත්‍රා තැනීමේ කර්මාන්තය
2. සූර්යය පැනල් නිෂ්පාදනය
3. සුළං බලය ලබාගැනීමේහි අවශ්‍යවෙන turbine, සරුංගල් සහ  උපාංග නිෂ්පාදනය
4. මුහුදු රළ මඟින් බලශක්තිය ලබාගැනීම ආශ්‍රිත උපාංග නිෂ්පාදනය
5. විදුලි බලයෙන් ධාවනය වන පොදු ප්‍රවාහන බස් රථ නිෂ්පාදනය
6. රටේ සෑම ප්‍රධාන නගරයකටම රාජ්‍ය කර්මාන්ත ශාලාවක්
7. අධිවේගී මාර්ග පද්ධතිය
8. නගර ආශ්‍රිත නවීන දුම්රිය පද්ධතිය 
9. රටේ අභ්‍යන්තර හා අන්තර්ජාතික නාවික ප්‍රවාහන සේවය
10. රටේ අභ්‍යන්තර හා අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සේවය
11. අනිකුත් 

ජාතික ඉඩම් ප්‍රතිපත්තිය

කල්පවතින සාමයක් සහ  රාජ්‍ය ආදායම ඉහළ දැමීම සඳහා  ජාතික ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් විය යුතුය.  සීඝ්‍රයෙන් දියුණු වන රටවල් බොහොමයක නිශ්චල දේපළ පුද්ගලයන්ට අයිති නැත. සියළුම ඉඩම් රාජ්‍ය දේපළ වන අතර පුද්ගලයන්ට දීර්ඝකාලීන බද්දට ලබා  දී ඇත. මෙම  කුලී ආදායම  රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු කොටසකි. නමුත් අපේ රටේ රජයට අයත් ඉඩම් වලට හැර අනෙකුත් ඉඩම් වලට මෙම නීතිය ක්‍රියාත්මක කළ නොහැක. 

පාරම්පරික ඉඩම් අයිතිය පුරවැසියන් සතු වටිනාම අයිතියක් ලෙස ද අප පිළිගත යුතු අතර කල් පවතින සාමයක් උදෙසා එක් ජනවර්ගයකට, පරපුරකට පාරම්පරිකව අයිති ඉඩම් විකිණීමෙන්, පැවරීමෙන්, ප්‍රදානය කිරීමෙන් හෝ වෙනයම් ආකාරයකින් තවත් ජනවර්ගයකට අයත් පුද්ගලයෙකුට ලබා ගැනීමට නොහැකි වන පරිදි නීති සකස් කළ යුතුය.  මෙමගින් ජනවර්ග අතර ඇති ආක්‍රමණකාරී බිය ඉවත්වන අතර එය දීර්ඝ කාලීන සාමයට හේතුවේ .  මෙම නීතිය ව්‍යවස්ථාවෙන් සම්මත කළ යුතුය. 

දැනට පවතින එක් පුද්ගලයෙකුට අයිතිව තිබිය හැකිය ඉඩම් අක්කර ප්‍රමාණය  අක්කර පනහ දක්වා පහත දැමිය යුතුය

දැනට පවතින අඳ ගොවි පනත  නිසා රටේ බොහෝ ඉඩම් ප්‍රයෝජනයක් නොගෙන තිබීම රටේ ආදායම අඩුවීමට හේතු ප්‍රධාන හේතුවකි.  එම නිසා මෙම අඳ ගොවි පනත වහාම අහෝසි කළ යුතු අතර ඉඩම් ප්‍රයෝජනයක් නොගෙන නොතිබීමට අවශ්‍ය නීති සකස් කළ යුතුය ඉඩම් වල කෘෂිකාර්මික වටිනාකම හා වාණිජ වටිනාකම සෑම වර්ෂයේ තක්සේරුකර එයින් යම්කිසි ප්‍රතිශතයක් බද්දක් වශයෙන් රජය අය කළ යුතුය. මේමගින් ප්‍රයෝජනයක් නොගෙන නිකරුනේ තිබෙන ඉඩම් රටේ නිෂ්පාදනයට දායක කරගත හැකි වන අතර එහෙයින් රටේ ආර්ථිකයට වඩා හිතකර තත්ත්වයක් ඇතිවනු ඇත

රජයේ ඉඩම් පුද්ගලයන්ට නොමිලේ ලබාදීම හෝ විකිණීම සම්පූර්ණයෙන් නතර කළ යුතුය. අප රටේ වනාන්තර ප්‍රමාණය 20% ට වඩා අඩු වී ඇති අතර රක්ෂිත  වනාන්තර ප්‍රමාණය 10% ටත් වඩා අඩු වී ඇත. ඉඩම් නොමිලේ ලබා දීම දේශපාලනඥයින්ගේ ඡන්ද ව්‍යාපාරයේ කොටසක් වී ඇත. එමෙන්ම එය දේශීය විදේශීය ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරයක්ද වී ඇත.  එහෙයින් රජයේ ඉඩම් පුද්ගලයන්ට හෝ ව්‍යාපාර වලට නොමිලේ ලබාදීම හෝ විකිණීම සම්පූර්ණයෙන් නතර කළ යුතුය. ඒ වෙනුවට රජයේ ඉඩම් කෙටි කාලීන බදු දීමේ ක්‍රමයක් පමණක් ක්‍රියාත්මක කළ යුතුය. ඉඩම් බදු දීමේ දී රජයට සැලකිය යුතු ආදායමක් ලැබෙන ලෙස හා කෙටි කාලීන බදු ක්‍රමයකට ලබාදිය යුතුය. නව ව්‍යාපාර ආරම්භ කිරීමේදි රජය විසින් සපයන ඉඩම් තක්සේරුකර එම සමාගම්වල කොටස් ඒ වෙනුවට රජයට ලැබෙන ආකාරයක් සකස් කළ යුතුය. මේ ආකාරයෙන් මුදල් ආයෝජනයකින් තොරවම නිශ්චල දේපළ අවශ්‍ය වන අලුත් ව්‍යාපාරවල කොටස්කරුවකු වීමට රජයට හැකියාව ලැබෙනු ඇත. 

එසේම එවන් බදුදීම් රටේ හා දිස්ත්‍රික් ජනවර්ග අනුපාතයට ලබාදිය යුතුය ( උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ නිවාස ප්‍රතිපත්තිය අධ්‍යයනය කළ හැකිය)

නව ජනාවාස බිහි කිරීමේදී රටෙහි හා දිස්ත්‍රික්කයේ ජනවර්ගය අනුපාත අනුව ඉඩම් බදු දිය යුතුය. 

එමෙන්ම නිශ්චල දේපල කුලියට දීමේදී ප්‍රදේශයේ හා රටේ ජන අනුපාතය අනුව අවසරයක් ලබාගත යුතු අතර එම අනුපාතයන් ඉක්මවා නොයන ලෙස වගබලා ගත යුතුය මෙය ජන වර්ග මිශ්‍රව වාසය කිරීමට හේතුවක් වන අතර සහජීවනය නැංවීමට උපකාරී වෙයි ( උදාහරණයක් ලෙස සිංගප්පූරුවේ නිවාස ප්‍රතිපත්තිය අධ්‍යනය කළ හැකිය) 

භාෂා ප්‍රතිපත්තිය

1. ඉංග්‍රීසි ප්‍රමුඛ භාෂාව ලෙස නම් කළ යුතුය.
2. සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා වන අතර ප්‍රමුඛත්වය ප්‍රදේශය අනුව වෙනස් නොවිය යුතුය.
3. රටේ සියලු ම පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යය පන්ති වහාම ආරම්භ කළ යුතුය. එමෙන්ම අවුරුදු දහයකින් හෝ පහළොවකින් සියලුම පාසල්වල ඉංග්‍රීසිය අධ්‍යාපන මාධ්‍ය කළ යුතුය.
4. ඉංග්‍රීසි ප්‍රමුඛ  භාෂාව කිරීමෙන් අපේ අනාගත පරපුරට ලෝකය වෙත පියමන් කිරීමට ඇති අවස්ථාවන් පුළුල් කරන අතර රට තුළ භාෂා බේද තුරන් කිරීමට ඉවහල් වනු ඇත.
5. ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂා හැර වෙනත් කිසිදු භාෂාවක් රටේ කිසිදාක රාජ්‍ය භාෂාව හෝ අධ්‍යාපන මාධ්‍යය නොවිය යුතු ලෙස ව්‍යවස්ථා ගත කළ යුතුය. නමුත් ඕනෑම භාෂාවක් විෂයක් වශයෙන් ඉගැන්වීම කර හැකි විය යුතුය.
6. තව අවුරුදු 20ත් 30ත් අතර කාලයේදී ලෝකයේ භාෂාවන් අතර කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට සන්නිවේදන තාක්ෂණය සහ මෙවලම් දියුණුවන බව මතක තබා ගත යුතුය. 

පාසල් වලට ළමුන් ඇතුළත් කිරීම හා පහේ ශිෂ්‍යත්වය

අපේ රටට නිදහස ලැබී වසර හැත්තෑවක් ගීයත්, නිදහස් අධ්‍යාපන  සංකල්පය බිහි වී අවුරුදු පනහකට  වඩා ගතවී ඇතත් රටේ හැමතැනකම සමාන අධ්‍යාපන පහසුකම් ඇති කිරීමට අප තවමත් සමත් වී නැත. මේ හේතුව නිසා  පහේ ශිෂ්‍යත්වය  තවමත් ඉතා වැදගත්  විභාගයකි.  අපේ රටේ  පහුගිය අවුරුදු 40 තුළ බිහිවී ඇති ඉංජිනේරුවන් වෛද්‍යවරුන් සහ වෙනත් උසස්  වෘත්තිකයන්ගෙන් 60% කට වැඩි ප්‍රමාණයක්  අඩු පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශ තුළින් බිහිවී පහේ ශිෂ්‍යත්වය නිසා නාගරික උසස් පාසලකට පැමිණ එතුළින් එම ඉලක්කය කරා ගියවුන් වෙති. පහේ ශිෂ්‍යත්වය නොතිබේ නම් බිහිවන සියලුම වෘත්තිකයන් නගරයේ ජනතාව වනු ඇත.  එසේම වෘත්තීය කුසලතාව නිසා වෙනත් රටවල පුරවැසි භාවය ලබාගත් වෘත්තිකයන්ගෙන්  80%ක ප්‍රමාණයක් මෙම පහේ ශිෂ්‍යත්වය තුලින් අවස්ථාවක් ලබා ගත් ග්‍රාමීය පිරිසකි.

ඕනෑම රටක සමාජයක දක්ෂයාට පිළිගැනීමක්  ලැබෙන ක්‍රමයක් තිබිය යුතුය. එමෙන්ම දක්ෂයාගෙන් රටට ප්‍රයෝජනයක් ගත යුතුය.  5 ශිෂ්‍යත්වය යනු දක්ෂයන් ඉදිරියට ගන්නා ප්‍රමුඛතම ක්‍රමවේදයයි.

පහේ ශිෂ්‍යත්වය දරුවන්ගේ ළමා කාලය අහිමි කරයි යන තර්කය ඉතාමත් සත්‍යය සාධාරණ තර්කයකි.    නමුත් ශිෂ්‍යත්වය නැති කිරීමෙන් දරුවන්ට හොඳ අධ්‍යාපන අවස්ථාවක් ලබාගැනීමේ අයිතිය අහිමි කරනු ඇත. ශිෂ්‍යත්වය නැති කරනවා වෙනුවට ශිෂ්‍යත්වයේ අවශ්‍යතාවයක් නැති කිරීම කළ යුතුය.   සෑම ප්‍රදේශයකම පාසල් දියුණු කිරීමෙන්, සමාන පහසුකම් ලබාදීමෙන්  ශිෂ්‍යත්වයේ අවශ්‍යතාවය නැති කළ හැකිය.  එසේ නොකොට පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්නේ නම් එය හුදෙක්ම නාගරික ප්‍රභූ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා කරනු ලබන්නක් වන අතර එය මෙරට අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය ඇති කිරීමෙන් පසුව කරන සාපරාධී ම ක්‍රියාව වනු ඇත.

එමෙන්ම පාසල් දියුණු කර ශිෂ්‍යත්ව විභාගය  නවතින තුරු එම විභාගයේ විෂය  නිර්දේශයෙන් මව් භාෂාව ඉවත්කර ඒ වෙනුවට  පරිසරය හා ප්‍රාථමික විද්‍යාව ඇතුළත් කළ යුතුයි.  සිසුවාගේ භාෂා හැකියාව මෙම ගණිතය, පරිසරය හා ප්‍රාථමික  විද්‍යාවට පිළිතුරු සපයන ආකාරයෙන් හඳුනාගත හැකිය.

එසේම අපි  හොඳින් දන්නා  තවත් කරුණක් නම් 1 වසරට සිසුන් ඇතුලත් කිරීමට දෙමව්පියන් කරන ව්‍යාජ උත්සාහයන්. එම උත්සාහයන් සමඟ දේශපාලනඥයන් ලබාගන්නා අයුතු ප්‍රයෝජන. එමෙන්ම විවිධ වෘත්තිකයන් මෙය විශේෂ වරප්‍රසාදයක් ලෙස සලකා අනෙකුත් ජනතාවට අසාධාරණයක් ද සිදු කරයි. මෙය විශේෂයෙන්ම සිදුවන්නේ ප්‍රාථමික නොවන පාසල් වලය. මෙයට හේතුව 1 වසරට ඇතුලත් වන සිසුවා උසස් පෙළ දක්වාම අධ්‍යාපනය එම පාසලේම සිදුකිරීමට අවස්ථාව ලබාදීමයි. මෙමඟින් තවත් ග්‍රාමීය දක්ෂ සිසුන් අති විශාල ප්‍රමාණයකට හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අයිතිය උදුරා ගනියි.

එහෙයින් සියලුම පාසල් ප්‍රාථමික ද්විතීයික හා තෘතීයික වශයෙන් බෙදීමෙන් පහේ ශිෂ්‍යත්වය සහ අපොස සාමාන්‍ය පෙළ විභාගවලින් දක්ෂතාවයන් පෙන්වන සිසුන්ට ලැබෙන අවස්ථාවන් වැඩි වෙනු ඇත.  එමෙන්ම 1 වසරට සිසුන් ඇතුලත් කිරීමේ ව්‍යාජ උත්සාහයන් අඩුවෙනු ඇත. දේශපාලනඥයන්ට  ජනතාව රැවටීමට ඇති තවත් කූට උපක්‍රමයක් ද අහිමි වනු ඇත. පහේ ශිෂ්‍යත්වයට ඇති  තරගය අඩුවෙනු ඇත. එමඟින් දරුවන්ට සෙල්ලම් කිරීමට වැඩි කාලයක් ලැබෙනු ඇත.

සාරාංශය:

1. රජයේ සියලුම පාසල් ප්‍රාථමික ද්විතීයික හා තෘතීයික වශයෙන් වෙන් කළ යුතුය.
2. ශිෂ්‍යත්ව විභාගයේ විෂය  නිර්දේශයෙන් මව් භාෂාව ඉවත්කර පරිසරය හා ‍ ප්‍රාථමික විද්‍යාව  ඇතුළත් කළ යුතුය
3. ශිෂ්‍යත්ව විභාගය අවශ්‍යතාවයක් නොමැති වන පරිදි සෑම ප්‍රදේශයක ම පාසල්වලට සමාන පහසුකම් ලබාදිය යුතුය