Sunday, February 17, 2019

පාසල් වලට ළමුන් ඇතුළත් කිරීම හා පහේ ශිෂ්‍යත්වය

අපේ රටට නිදහස ලැබී වසර හැත්තෑවක් ගීයත්, නිදහස් අධ්‍යාපන  සංකල්පය බිහි වී අවුරුදු පනහකට  වඩා ගතවී ඇතත් රටේ හැමතැනකම සමාන අධ්‍යාපන පහසුකම් ඇති කිරීමට අප තවමත් සමත් වී නැත. මේ හේතුව නිසා  පහේ ශිෂ්‍යත්වය  තවමත් ඉතා වැදගත්  විභාගයකි.  අපේ රටේ  පහුගිය අවුරුදු 40 තුළ බිහිවී ඇති ඉංජිනේරුවන් වෛද්‍යවරුන් සහ වෙනත් උසස්  වෘත්තිකයන්ගෙන් 60% කට වැඩි ප්‍රමාණයක්  අඩු පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශ තුළින් බිහිවී පහේ ශිෂ්‍යත්වය නිසා නාගරික උසස් පාසලකට පැමිණ එතුළින් එම ඉලක්කය කරා ගියවුන් වෙති. පහේ ශිෂ්‍යත්වය නොතිබේ නම් බිහිවන සියලුම වෘත්තිකයන් නගරයේ ජනතාව වනු ඇත.  එසේම වෘත්තීය කුසලතාව නිසා වෙනත් රටවල පුරවැසි භාවය ලබාගත් වෘත්තිකයන්ගෙන්  80%ක ප්‍රමාණයක් මෙම පහේ ශිෂ්‍යත්වය තුලින් අවස්ථාවක් ලබා ගත් ග්‍රාමීය පිරිසකි.

ඕනෑම රටක සමාජයක දක්ෂයාට පිළිගැනීමක්  ලැබෙන ක්‍රමයක් තිබිය යුතුය. එමෙන්ම දක්ෂයාගෙන් රටට ප්‍රයෝජනයක් ගත යුතුය.  5 ශිෂ්‍යත්වය යනු දක්ෂයන් ඉදිරියට ගන්නා ප්‍රමුඛතම ක්‍රමවේදයයි.

පහේ ශිෂ්‍යත්වය දරුවන්ගේ ළමා කාලය අහිමි කරයි යන තර්කය ඉතාමත් සත්‍යය සාධාරණ තර්කයකි.    නමුත් ශිෂ්‍යත්වය නැති කිරීමෙන් දරුවන්ට හොඳ අධ්‍යාපන අවස්ථාවක් ලබාගැනීමේ අයිතිය අහිමි කරනු ඇත. ශිෂ්‍යත්වය නැති කරනවා වෙනුවට ශිෂ්‍යත්වයේ අවශ්‍යතාවයක් නැති කිරීම කළ යුතුය.   සෑම ප්‍රදේශයකම පාසල් දියුණු කිරීමෙන්, සමාන පහසුකම් ලබාදීමෙන්  ශිෂ්‍යත්වයේ අවශ්‍යතාවය නැති කළ හැකිය.  එසේ නොකොට පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්නේ නම් එය හුදෙක්ම නාගරික ප්‍රභූ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා කරනු ලබන්නක් වන අතර එය මෙරට අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය ඇති කිරීමෙන් පසුව කරන සාපරාධී ම ක්‍රියාව වනු ඇත.

එමෙන්ම පාසල් දියුණු කර ශිෂ්‍යත්ව විභාගය  නවතින තුරු එම විභාගයේ විෂය  නිර්දේශයෙන් මව් භාෂාව ඉවත්කර ඒ වෙනුවට  පරිසරය හා ප්‍රාථමික විද්‍යාව ඇතුළත් කළ යුතුයි.  සිසුවාගේ භාෂා හැකියාව මෙම ගණිතය, පරිසරය හා ප්‍රාථමික  විද්‍යාවට පිළිතුරු සපයන ආකාරයෙන් හඳුනාගත හැකිය.

එසේම අපි  හොඳින් දන්නා  තවත් කරුණක් නම් 1 වසරට සිසුන් ඇතුලත් කිරීමට දෙමව්පියන් කරන ව්‍යාජ උත්සාහයන්. එම උත්සාහයන් සමඟ දේශපාලනඥයන් ලබාගන්නා අයුතු ප්‍රයෝජන. එමෙන්ම විවිධ වෘත්තිකයන් මෙය විශේෂ වරප්‍රසාදයක් ලෙස සලකා අනෙකුත් ජනතාවට අසාධාරණයක් ද සිදු කරයි. මෙය විශේෂයෙන්ම සිදුවන්නේ ප්‍රාථමික නොවන පාසල් වලය. මෙයට හේතුව 1 වසරට ඇතුලත් වන සිසුවා උසස් පෙළ දක්වාම අධ්‍යාපනය එම පාසලේම සිදුකිරීමට අවස්ථාව ලබාදීමයි. මෙමඟින් තවත් ග්‍රාමීය දක්ෂ සිසුන් අති විශාල ප්‍රමාණයකට හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අයිතිය උදුරා ගනියි.

එහෙයින් සියලුම පාසල් ප්‍රාථමික ද්විතීයික හා තෘතීයික වශයෙන් බෙදීමෙන් පහේ ශිෂ්‍යත්වය සහ අපොස සාමාන්‍ය පෙළ විභාගවලින් දක්ෂතාවයන් පෙන්වන සිසුන්ට ලැබෙන අවස්ථාවන් වැඩි වෙනු ඇත.  එමෙන්ම 1 වසරට සිසුන් ඇතුලත් කිරීමේ ව්‍යාජ උත්සාහයන් අඩුවෙනු ඇත. දේශපාලනඥයන්ට  ජනතාව රැවටීමට ඇති තවත් කූට උපක්‍රමයක් ද අහිමි වනු ඇත. පහේ ශිෂ්‍යත්වයට ඇති  තරගය අඩුවෙනු ඇත. එමඟින් දරුවන්ට සෙල්ලම් කිරීමට වැඩි කාලයක් ලැබෙනු ඇත.

සාරාංශය:

1. රජයේ සියලුම පාසල් ප්‍රාථමික ද්විතීයික හා තෘතීයික වශයෙන් වෙන් කළ යුතුය.
2. ශිෂ්‍යත්ව විභාගයේ විෂය  නිර්දේශයෙන් මව් භාෂාව ඉවත්කර පරිසරය හා ‍ ප්‍රාථමික විද්‍යාව  ඇතුළත් කළ යුතුය
3. ශිෂ්‍යත්ව විභාගය අවශ්‍යතාවයක් නොමැති වන පරිදි සෑම ප්‍රදේශයක ම පාසල්වලට සමාන පහසුකම් ලබාදිය යුතුය

No comments: