Monday, February 18, 2019

විඩියෝ පදනම් වූ දඩ ක්‍රමය

දියුණු රටවල යම් යම් සරල නීති උල්ලංඝනය කිරීම් වලට දඩ නියම කිරීමේදී තාක්ෂණය පාවිච්චි වෙයි.  තාක්ෂණයේ දියුණුවත් සමග තාක්ෂණය භාවිතා කර නීති උල්ලංඝනය කිරීම ඉතා වැඩි වීම බලාපොරොත්තු විය යුතු දෙයකි.  මෙම තත්ත්වය පාලනය කළ හැක්කේ ද තාක්ෂණය භාවිතා කිරීමෙන් පමණයි. හොඳම උදාහරණය වන්නේ සිංගප්පූරුව. සිංගප්පූරුව තුල ක්‍රියාත්මක වන අධි තාක්ෂණික මෙවලම් වලින් ඕනෑම පුද්ගලයකු සිටින්නේ කොහේද කරන්නේ කුමක්ද යන්න අවශ්‍ය විටෙක සොයාගැනීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි.   රටේ සෑම තැනකම සවිකර තිබෙන CCTV කැමරා පද්ධතියෙන් වැරදි කරන්නවුන් සොයා ගැනීමටත් අවශ්‍ය වුවහොත් දඩ නියම කිරීමටත් හැකියි. නමුත් මෙම තත්ත්වය හොඳාකාරවම දන්නා ස්වදේශිකයන් හා විදේශිකයන් වැරදි කිරීමෙන් වැළකී සිටී.

අප රට තුලද CCTV කැමරා පද්ධති ආශ්‍රයෙන් වැරදිකරුවන් හඳුනාගැනීමට හා දඩ නියම කිරීමට ක්‍රමවේදයක් සකස් කළොත් එය වැරදි කරන්නවුන්ගෙන් 90% හඳුනාගෙන දඩ නියම කිරීමටත් එමගින් දීර්ඝකාලීනව ජනතාවගේ ස්වයං විනයක් ඇති කිරීමටත් ඉවහල් වනු ඇත.   මෙමඟින් දඩ නියම කළ හැකි කාරණා වන්නේ,
  1. මාර්ග නීති උල්ලංඝණය
  2. ප්‍රසිද්ධ ස්ථානවල කෙරෙන හිංසනය,  හොරකම් සහ අපයෝජනයන් 
  3. පරිසරය දූෂණය කිරීම කැලිකසල තැන් තැන් වල දැමීම
  4. ජාතිවාදී, කුලවාදී හා ආගම්වාදී කෝලාහල
  5. ප්‍රසිද්ධ ස්ථානවල  කෙරෙන විවිධ ජාවාරම් සහ කප්පම් ගැනීම්

මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීමෙන් අධිකරණ පද්ධතියට ඇති රාජකාරි ප්‍රමාණය අඩුකර ඊට වඩා වැදගත් නඩු සඳහා වැඩිපුර කාලය වැය කිරීමට අවකාශයක්ද  ලැබෙනු ඇත.
මේ සඳහා කළ යුත්තේ,
  1. CCTV සහ උපාංග වලට ඇති ආනයන බද්ද සහමුලින්ම ඉවත්කර දැමීම.
  2. video උපයෝගීකරගෙන දඩ නියම කිරීමට අවශ්‍ය නීතිරීති සකස්  කිරීම.
  3. මහජනතාවට එවන් videos පහසුවෙන් එවීමට ක්‍රමවේදයක් සකස් කිරීම (විශේෂයෙන්ම android සහ iOS  මෘදුකාංග)
  4. පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි වීඩියෝ අධ්‍යනය කර වැරදිකරුවන් නිගමනය කිරීමට අවශ්‍ය  දෘඩකාංග, මෘදුකාංග සැපයීම සහ පුහුණුව ලත් නිලධාරීන් පිරිසක් පත්කිරීම
  5. වැරදිකරුවන් හට දඩමුදල තැපැල් මාර්ගයෙන් දැනුම් දීම
  6. වැරදිකරුවන් තමා නිවැරදි  යැයි ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා අභියාචනා කිරීමට ක්‍රමයක් සකස් කිරීම.  වැරදිකරු ලෙස පිළිගන්නේ නම් දඩ මුදල අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ක්‍රමයකින් ගෙවාදැමීමට හැකියි

No comments: